බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේය යන ස්වකීය විපරීත කථාව සනාථ කිරීම සඳහා මීවනපලානේ පචෝරිස් හිමි නොයෙක් සාවද්‍ය කරුණු ගෙනහැර දක්වනවා, නොපිළිගත හැකි කරුණු ගෙනහැර දක්වනවා, නොනිසි දෑ හි සැක උපදවනවා. තම මතය සනාථ කිරීම සඳහා එහිමියන් දක්වන විපරීත සාධක අතරින් එක් විපරීත සාධකයක් බුදුරජානන් වහන්සේ පස්වගමහණුන්ට දහම් දෙසීම පිණිස බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම සමඟ සම්බන්ධයි. මීවනපලානේ හිමි දක්වන්නේ ඉන්දියාවේ බුද්ධගයාව සහ ඉසිපතනය පිහිටා ඇති ස්ථානවලට අනුව ඒ අතර ඇති දුර ප්‍රමාණය සතියක පමණ කාලයක් තුළ පා ගමනින් යා නොහැකි බව සහ එබැවින්ද අදාළ ස්ථාන තිබිය යුත්තේ ඉන්දියාවේ නොව ලංකාවේ එහිමියන් දක්වන තැන්වල බව. මීවනපලානේ හිමිගේ ඒ පැවසීම සත්‍යයක් යැයි පිළිගන්නට තරම් කරුණක් නොවෙයි. එසේ වන්නේ ඇයි දැයි යන්න මෙම ලිපියෙන් විස්තර කෙරෙනවා.
මීවනපලානේ හිමිගේ මුසාවාද රැසක් රැගත් "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි" යන පොතේ 68 පිටුවේ උක්ත මාතෘකාව ගැන මෙසේ සඳහන්ව තිබෙනවා:
ඉන්දියාවේ ගයා බෝධිය යැයි අද හඳුන්වන ස්ථානය හා ඉසිපතනය යැයි අද හඳුන්වන ස්ථානය යන ස්ථාන දෙක අතර අද දුර කි.මි 400ක් පමණ වෙයි. මෙවැනි දුරක් එදා පා ගමනින් ම යාමට දින 20ක් වත් ගමන් කළ යුතුය.
පහත දැක්වෙන්නේ මීවනපලානේ හිමිට රැවටුණු බ්‍රිස්බේන් ධම්ම සරණ නම් භික්ෂූන් වහන්සේ නමක් උක්ත මාතෘකාව ගැන ද පවසන අයුරු දැක්වෙන වීඩියෝවක්. වීඩියෝවේ කාලය 34:20 න් පමණ ඉදිරියට ආසන්නයේ එහිමියන් මීවනපලානේ හිමි සමඟ යම් සාකච්ඡාවක යෙදී ඉන්නා ආකාරය ද දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම ඉන්දියාව ආශ්‍රිතව නොපිළිගත හැකි බව ධම්ම සරණ හිමි විස්තර කරන ආකාරය වීඩියෝවේ කාලය 21:39 සිට 23:50 පමණ තෙක් දැක්වෙනවා.
බුදු වීමෙන් අනතුරුව පස්වගමහණුන්ට දහම් දෙසීම පිණිස බුදුරජානන් වහන්සේ බුද්ධගයාවේ සිට බරණැස ඉසිපතනයට වැඩම කිරීම පිළිබඳ ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ මහාඛන්ධකයේ පඤ්චවග්ගියකථා යටතේ විස්තර වී තිබෙනවා. බුදුරජානන් වහන්සේ බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම නිශ්චිත ලෙසම සතියක කාලයක් තුළ සිදුවී දැයි මෙම ලිපිය ලියන මා විමසා බලා නැහැ. එනමුත් එසේ වී නම් හැබෑවටම ඉන්දියාවේ බුද්ධගයාවේ සිට ඉසිපතනයට සතියක පමණ කාලයකින් පා ගමනින් යා නොහැකි යැයි කිව හැකි ද?
පහත දැක්වෙන්නේ ඒ ගැන විමසා බැලීමට උපකාර වන ඉන්දියාවේ බුද්ධගයාව සහ මෙකල සාරානාත් යන නමින් හැඳින්වෙන ඉන්දියාවේ බරණැස ඉසිපතනය සලකුණු කොට ඇති සිතියමක්:
ධම්ම සරණ හිමි පවසා ඇත්තේ ඉන්දියාවේ බුද්ධගයාවේ සිට ඉසිපතනයට ඇති දුර කි.මි. 350 කට අධික බව. මීවනපලානේ හිමි එම දුර වර්තමානයේ කි.මි. 400 පමණ වෙතැයි දක්වා තිබෙනවා. එසේ උවත් එම ස්ථාන දෙක අතර ඇති සෘජු දුර කි.මි. 213 ක් පමණ වන අතර ඉහත සිතියමේ දැක්වෙන වර්තමානයේ පවත්නා පා ගමනින් එම ස්ථාන අතර යා හැකි මාර්ගයේ දුර කි.මි. 239 ක් පමණ වෙනවා. සිතියමේ දැක්වෙන පා ගමනින් යා හැකි මාර්ගය බුදුරජානන් වහන්සේ වැඩි මාර්ගයම දැයි මා දන්නේ නැහැ. එය Google Maps හි දැක්වෙන බුද්ධගයාවේ සිට ඉසිපතනයට වර්තමානයේ පා ගමනින් යා හැකි එක් මාර්ගයක්. ධම්ම සරණ හිමි සහ මීවනපලානේ හිමි එම ස්ථාන දෙක අතර පවත්නා දුර ලෙස දක්වන්නේ තරමක් වැඩි දුරවල් බව පෙනෙනවා.
සිතියමේ දැක්වෙන මාර්ගයේ පා ගමනින් ගියහොත් බුද්ධගයාවේ සිට ඉසිපතනයට යෑමට කොපමණ කාලයක් ගතවේවී ද? ගූගල් සිතියමක අදාළ ස්ථාන දෙක සටහන් කර බැලුවොත් එම කාලය පැය 48 ක් පමණ වන බව දකින්න පුළුවන්. ඒ නොකඩවා ඇවිද්දොත්. දින හතක් තුළ පැය 48ක් පමණ ඇවිදීමට යොදා ගතහොත් පැය 120ක් පමණ අන් දෑ සඳහා ඉතිරි වෙනවා. එසේ සැලකූ විට බුදුරජානන් වහන්සේට ඉන්දියාවේ බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම පිණිස දින හතක් ගතවී නම් එය සැක කරන්න තරම් කාරණාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ පහසුවෙන් සහ අතරමඟ විවේක ද ඇතිව බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කරන්න ඇතැයි කියා නම් හිතන්න පුළුවන්.
සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට සැතපුම් 20 - 30 පමණ දුරක් පහසුවෙන් ඇවිද යාමට පුළුවන්. කිලෝමීටර්වලින් ගතහොත් එම දුර කි.මී. 32 - 48 පමණ වෙනවා. සමහරුන්ට ඊටත් වඩා ඇවිදින්න පුළුවන්. ඒ අනුව යම් අයෙක් සතියක කාලයක් ඇවිද්දොත් කි.මි. 224 - 336 පමණ දුරක් පහසුවෙන් යා හැකි යැයි කියන්න පුළුවන්.
ඉතින් බුදුරජානන් වහන්සේ බුද්ධගයාවේ සිට බරණැස ඉසිපතනයට පා ගමනින් දින හතක් පමණ තුළ වැඩම කළා නම් ඉන්දියාවේ එම ස්ථානවල පිහිටීමට අනුව එය එසේ විය නොහැකි යැයි කීමයි සැක කරන්න වෙන්නේ.
බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේය යන මීවනපලානේ පචෝරිස් හිමිගේ බොරු ප්‍රචාරය බොරුවක් බව මෙපරිද්දෙන් ද වටහා ගන්න පුළුවන්.
ධම්ම සරණ හිමි පවසන දෑ දැක්වෙන වීඩියෝවේ කාලය 22:01 දී පමණ භාවිතා කර ඇති සිංහල උපශීර්ෂය මෙම ලිපිය ලියන අවස්ථාවේදී මෙසේ දැක්වෙනවා:
මගේ අම්මෝ ඕනෑම කෙනෙකුට අද කාලේ පහසුවෙන් දැක බලා ගන්න පුළුවන් බුද්ධගයාවේ සිට සාරානාත් වලට ඇති දුර කිලෝමේටර් 350 ක් පමණ කියා.
මගේ අම්මෝ!
අතිරේක කියවීම්: