මේ වසර විස්සකට පමණ පෙර මා එල්බ සිටි මතයක්:
"මේ ලෝකේ මිනිස්සු උපදිනවා, මැරිලා යනවා. ඉපදුණු මිනිස්සුන්ට අන් අය මේක හොඳයි කියනවා, මේක නරකයි කියනවා. එහෙම අන් අය කියන දේට අනුව හොඳ නරක බෙදන්ඩ යොමුවෙච්ච මිනිස්සු තමන්ගේ ලාභ පාඩු ආදිය ද සලකා බලා තමන්ට උවමනා ආකාරයට මේක හොඳයි, මේක නරකයි කියලා කියන්ඩ පුරුදු වෙනවා. කෙනෙක් හොඳයි කියලා කියන දේට තව කෙනෙක් නරකයි කියලා කියනවා. කෙනෙක් නරකයි කියලා කියන දේට තව කෙනෙක් හොඳයි කියලා කියනවා. තමන් හිතන හොඳ නොවුනොත්, නරක උනොත් තරහ ගන්නවා. ඒ මදිවට තමන්ගේ ඒ බෙදීමට අනුව අන් අයට හොඳ නරක කියාදෙන්ඩ යනවා, වාද කරනවා, නඩු කියනවා, රණ්ඩු වෙනවා, මරාගන්නවා. ඔය කොයි දේ කරත් අන්තිමට මැරිලා යනවා. හොඳ මේවයි, නරක මේවයි කියලා නටපු නාඩගම් ටික ඔක්කොම එතනින් ඉවරයි. ඒ නටපු නාඩගම්වලින් ඇති කිසිම ඵලයක් නෑ. ඉපදිලා ඔහොම ජීවිතයක් ගතකරලා මැරිලා යෑම මෝඩ මිනිස්සුන්ගේ හැටි. යථාර්ථය දකින බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්නවා මිනිස්සු හොඳ නරක බෙදන්නේ අන් අය කියන නිසා සහ තමන්ගේ ලාභ පාඩුවලට අනුව මිසක පරමාර්ථයෙන් පවතින හොඳ නරක බෙදීමක් නිසා නොවන බව. ඉපදිලා මැරිලා යන ලෝකේ පරමාර්ථයෙන් මේක හොඳයි, මේක නරකයි කියලා කොහොම බෙදන්ඩද? එහෙම බෙදන්ඩ කිසිම පදනමක් නෑ. යථාර්ථයෙන් හොඳ කියලා දේකුත් නෑ, නරක කියලා දේකුත් නෑ. බුදු හාමුදුරුවෝ ඔය කියපු "හොඳත් නෑ, නරකත් නෑ" යන්න තමයි යථාර්ථයෙන් ලෝකෙට ඉස්මතු කරලා දැක්වුවේ. ඒ අවබෝධයට පැමිණියාම මිනිස්සුන්ට නොයෙක් දේට ඇලෙන්ඩ හේතුවකුත් නෑ, ගැටෙන්ඩ හේතුවකුත් නෑ. ඒ තමයි නිර්වාණ අවබෝධය. මිනිස්සු ඔච්චර හිතන්නේ නෑ. තමන් සහ ලෝකය ගැන තියුණුව විමසලා බලන බොහොම සුළු පිරිසක් විතරයි ඔය යථාර්ථය අවබෝධ කරගන්නේ."