2024 වසරේ විශේෂයෙන් මගේ සිත් ගත් භික්ෂූන් වහන්සේලා

Submitted by Kamal Wickramanayake on

2024 වසරේ මගේ සිත් ගත් භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අතරින් විශේෂයෙන් සිත් ගත් භික්ෂූන් වහන්සේලා තෙනමක් ගැන මෙසේ සඳහන් කරන්න කැමතියි.

2024 වසරේ වැඩියක්ම මගේ සිත් ගත්තේ මහව ඥාණාලෝක ස්වාමීන් වහන්සේයි. ඒ උන්වහන්සේ අඛණ්ඩව බුදුරජානන් වහන්සේ දේශනා කළ විනය විවරණය කරමින් සිටීම නිසයි. විනය නොමැති නම් බුදු සසුනක් පවතින්නේ නැහැ. උන්වහන්සේගේ ක්‍රියාව ඉතාම අනර්ඝයි.

2024 වසරේ විශේෂයෙන් මගේ සිත් ගත් තවත් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේ වෙහෙස නොබලා ධර්මය විනය නාමයෙන් අධර්මය අවිනය වපුරන පිරිස්වලට එරෙහිව කටයුතු කරමින් සිටිනවා. උන්වහන්සේගේ ක්‍රියාවත් ඉතාම අනර්ඝයි.

2024 වසරේ විශේෂයෙන් මගේ සිත් ගත් තවත් භික්ෂූන් වහන්සේ නමක් වන්නේ බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේ බෙහෙවින්ම ශික්ෂාකාමීව වචන හසුරුවමින් මනරම් ලෙස දහම් දෙසනවා. උන්වහන්සේගේ ක්‍රියාවත් ඉතාම අනර්ඝයි.

එම භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේලා කරගෙන යන මේ අනර්ඝ කටයුතුත් අන් ධාර්මික කටයුතුත් සුව සේ කරගෙන යෑමට නිදුක් නීරෝගී චිර ජීවනය පතමු!

නොයෙක් ආකාරයට පාර්ෂවවලට බෙදී වෙන්වී සිටින භික්ෂූන් වහන්සේලා ධර්මයෙන් විනයෙන් සමඟි කෙරුමට යම් භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කරන බව මා හට විශේෂයෙන් දකින්නට නොලැබීම පසුගිය වසරේ සිදුව ඇති අඩුවක් ලෙස මම දකිනවා. භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් මම එය බෙහෙවින්ම අගය කරනවා. භික්ෂූන් වහන්සේලා ධර්මයෙන් විනයෙන් සමඟි වනවා නම් එය කෙතරම් අඟනේ ද? එය බොහෝ දෙනාට අර්ථවත් වනු ඇති.