ඉහත දැක්වෙන්නේ 2017/11/24 දින ගන්නා ලද ලන්ඩනයේ ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (The British Museum) ඡායාරූපයක්. ලන්ඩන් යූස්ටන් ඉස්ටේසමේ (Euston Station, London) සිට 1.5 km පමණ දුරින් ග්‍රේට් රසල් වීදියේ (Great Russell Street) බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පිහිටා තිබෙනවා. යූස්ටන් ඉස්ටේසමේ සිට පහසුවෙන්ම එතැනට ඇවිදගෙන යන්න පුළුවන්. ඒ වෙත යාමට වෙනත් ගමනාගමන පහසුකම් ද පවතිනවා. කෞතුකාගාරයට ඇතුල් වී එය නැරඹීමට ගාස්තු අය කෙරෙන්නේ නැහැ. පෞද්ගලික සහ වාණිජමය නොවන භාවිතයන් උදෙසා නරඹන්නන්ට කෞතුක වස්තූන්ගේ ඡායාරූප ගැනීම ද කළ හැකියි. ඊට ද ගාස්තු අය කෙරෙන්නේ නැහැ.
බ්‍රිතාන්‍ය පුස්තකාලය (The British Library) පිහිටා ඇත්තේ ද යූස්ටන් ඉස්ටේසම ආසන්නයේමයි. යූස්ටන් ඉස්ටේසමේ සිට 0.65 km පමණ දුරින් සෙන්ට් පැන්ක්‍රස්හි (St Pancras) එය පිහිටා තිබෙනවා. පුස්තකාලය 1973ට පෙර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේම කොටසක්ව පැවතියත් 1972 බ්‍රිතාන්‍ය පුස්තකාල පනතෙන් පුස්තකාලය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් වෙන් කොට තිබෙනවා. එසේ වෙන් කළ ද 1997 වන තෙක් එම ආයතන දෙක එකම ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් තිබෙනවා. ලංකාවෙන් එක් රැස් කරගන්නා ලද හියු නෙවිල් එකතුවට (Hugh Nevill Collection) අයත් පැරණි පුස්කොල පොත් පරිශීලනය සඳහා යා යුත්තේ බ්‍රිතාන්‍ය පුස්තකාලයට.
රටවල් රාශියකින් එක් රැස් කරගන්නා ලද කෞතුක වස්තූන් අති විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබෙනවා. එහි ඇති දෑ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ද සොයා බැලිය හැකියි. ඒ සඳහා කෞතුකාගාරයේ වෙබ් අඩවියේ ඇති "Research > Collection online" සෙවීම් පහසුකම භාවිතා කරන්න පුළුවන්. වෙබ් අඩවියේ දැක්වෙන සමහර කෞතුක වස්තූන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා නැහැ.
ඉතිහාසය පිළිබඳ විමසන අයට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති කෞතුක වස්තූන් ඇසුරෙන් බොහෝ දෑ උගත හැකියි. ඉන්දියාවේ සිට නොයෙකුත් රටවල්වලට බුදු දහම පැතිර යාම පිළිබඳව විමසන අයට ද එම කෞතුකාගාරයේ ඇති කෞතුක වස්තූන් ඒ ගැන නොයෙකුත් සාක්ෂි සහ ඉඟි ලබා දෙනවා.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පාකිස්ථානයේ ගාන්ධාර ප්‍රදේශයෙන් සොයා ගත් ක්‍රිස්තු වර්ෂ දෙවන - තුන්වන සියවස්වලට අයත් කාලයකදී සාදන්නට ඇතැයි සැලකෙන මහාමායා දේවිය දුටු සිහිනය දැක්වෙන කෞතුක වස්තුවක ඡායාරූපයක්:
මහාමායා දේවිය දුටු සිහිනය පපඤ්චසුදනී මජ්ඣිමනිකායට්ඨකථාවේ අච්ඡරියධම්ම සුත්ත වණ්ණනාවේ (118 පිටුව) විස්තර වී ඇති අයුරු:
චත්තාරො කිර නං මහාරාජානො සයනෙනෙව සද්ධිං උක්ඛිපිත්වා අනොතත්තදහං නෙත්වා එකමන්තං අට්ඨංසු, අථ නෙසං දෙවියො ආගන්ත්වා මානුස මලහරණත්ථං නහාපෙත්වා දිබ්බවත්ථං නිවාසෙත්වා ගන්ධෙහි විලිම්පෙත්වා දිබ්බපුප්ඵානි පිළන්ධිත්වා තතො අවිදූරෙ රජතපබ්බතො තස්ස අන්තො කනකවිමානං අත්ථි තස්මිං පාචීනතො සීසං කත්වා නිපජ්ජාපෙසුං. අථ බොධිසත්තො සෙතවරවාරණො හුත්වා තතො අවිදූරෙ එකො සුවණ්ණපබ්බතො තත්ථ චරිත්වා තතො ඔරුය්හ රජතපබ්බතං අභිරුහිත්වා උත්තරදිසතො ආගම්ම කනකවිමානං පවිසිත්වා මාතරං පදක්ඛිණං කත්වා දක්ඛිණපස්සං ඵාලෙත්වා කුච්ඡිං පවිට්ඨසදිසො අහොසි.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති පාකිස්ථානයෙන් සොයා ගත් ක්‍රිස්තු වර්ෂ දෙවන - තුන්වන සියවස්වලට අයත් කාලයකදී සාදන්නට ඇතැයි සැලකෙන සිදුහත් කුමරාගේ උපත දැක්වෙන කෞතුක වස්තුවක ඡායාරූපයක්:
තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය අද්භූතධර්මයන් ගැන විස්තර සඳහන්ව ඇති ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්‌ඤත වග්ගයේ ඇති අච්ඡරියබ්භුත සූත්‍රයෙන් කොටසක්:
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්දය, උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි. සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි. ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්භවයක් නැතැ’ ” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද ධරමි.
සිදුහත් කුමරාගේ එම ප්‍රථම භාෂණය පාලියෙන් සඳහන්ව ඇත්තේ මෙසේයි:
"අග්ගොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමාජාති, නත්ථිදානි පුනබ්භවො"