රාජගිරියේ අරියඥාණ හිමිගේ දහම් දෙසීම්වල කියැවෙන සමහර කරුණු විපරීතයි. ඉහත දැක්වෙන්නේ එබඳු කරුණු ද සඳහන්ව ඇති වීඩියෝවක්. එහි මෙසේ පැවසෙනවා:
[ කාලය 00:09 ]
... මොකද මේ සත්ත්වයා නිරතුරුවම සෑම සත්ත්වයෙක්ම නෝනා මේ සතරසතිපට්ඨානය තුළයි ජීවත් වෙන්නේ. නේද? නමුත් මේ සතරසතිපට්ඨානය නිරතුරුවම අපි නිත්‍ය වශයෙන් ගන්නවා. කායානුපස්සනාව තුළ ජීවත් වෙනවා, ජීවත්වෙලා ඒ කායානුපස්සනාව තුළ සකස්වෙන සප්තබොජ්ඣඞ්ගයන්ට එක්කෝ බැඳෙනවා. එහෙම නැත්නම් කය නිත්‍ය වශයෙන් දකිමින් ඉන්නවා. නිරතුරුවම ඒ සතරසතිපට්ඨාන ධර්මයන් අපි තුළ වැඩෙනවා, වැඩුනත් නෝනා අපි මේක සතරසතිපට්ඨාන ධර්මයක් කියලා හඳුනන්නේ නැහැ. මේ හඳුනාගැනීම අපිට මතුකරලා දෙන්නේ ලොව්තුරා බුදුරජානන් වහන්සේ නමක්. මනුස්සයාගේ, සත්ත්වයාගේ මේ සෑම ක්‍රියාවලියක්ම කාරණා හතරකට ගොණුකරලා ලෝකයේ නිරෝධය කරන මාවත මතුකරලා දෙන්නේ ලොව්තුරා බුදුරජානන් වහන්සේ නමක්මයි. වෙන කාටවත් බෑ. ඒ නිසා නිරතුරුවම අපි සතරසතිපට්ඨානය තුළ ජීවත් උනත් අපි සතරසතිපට්ඨානය තුළ ජීවත් වෙනවාය කියන කාරණය අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැති නිසා මේ සතරසතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍ය භාවය දකින්න අපි දක්ෂ නැහැ. ...
වරදවා ගත් වචන සහිතව කෙරෙන අරියඥාණ හිමිගේ එම විස්තරයට අනුව බුදුරජානන් වහන්සේලා ලොව පහළ වූවත් නැතත් සෑම සත්ත්වයෙක් තුළම කායානුපස්සනාව, වෙදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව යන සතරසතිපට්ඨාන ධර්මයන් නිරතුරුව වැඩෙන්නේ යැයි යන සදොස් අර්ථය මතුවෙනවා. සප්තබොජ්ඣඞ්ගයන්ගේ වැඩීමක් ගැනත් ඉහත විස්තරයේ කියැවෙනවා. එසේ සිදුවේ නම් සෑම සත්ත්වයෙක් තුළම නිරතුරුවම සිදුවන විසුද්ධියකුත් බලාපොරොත්තු වෙන්න ඕනෑ. එසේ වේ නම් බුදුරජානන් වහන්සේලා කුමට ද?
අරියඥාණ හිමිගේ ඉහත බඳු මනස්ගාත කථා මනස්ගාත කථා යැයි දැකීම දහම් අවබෝධයට රුකුල් දෙනවා. එබඳු මනස්ගාත කථා මනා දහම් දෙසීම් යැයි දැකීම දහම් පද විකෘති අර්ථයන්ගෙන් වැටහීමට හේතුවක්.