--
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ග සාමඤ්ඤඵල සූත්‍රයෙන් කොටසක්:
44. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නො මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චිනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
45. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම)ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
46. ...
47. ...
48. මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, ක්ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.