ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද සාසන පරපුර සංවිධානය

Submitted by Kamal Wickramanayake on

ඉහත දැක්වෙන්නේ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය මූලිකත්වය ගෙන ආරම්භ කරන ලද සාසන පරපුර නම් සංවිධානයේ සමාරම්භක අවස්ථාවට අදාළ වීඩියෝවකුයි.

බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් විශේෂයෙන් කටයුතු කරන තරුණ පිරිසකගෙන් සමන්විත මෙබඳු සංවිධානයක් ඇතිකරලීම අගය කළ යුතු ක්‍රියාවක් ලෙසයි මම දකින්නේ. එම සංවිධානයේ කටයුතු සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.

හැබැයි මට මෙබඳු දෙයකුත් කියන්න තිබෙනවා. ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා අධර්මවාදී අවිනයවාදී පිරිස් විසින් කරනු ලබන ධර්මයට විකෘති අර්ථ සැපයීම වැළැක්වීමට බොහෝ වෙහෙසෙන බව පෙනෙනවා. එයත් ඉතාම අගය කළ යුතු ක්‍රියාවක්. එසේ වුවත් සමාජ පිළිගැනීමක් ඇතිකරගත් උන්වහන්සේලා 2001 වසරේ දී ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් අධර්මවාදී අවිනයවාදී පනතක් සම්මත කර ගැනීමට ලැජ්ජා නැතිව උත්සාහ කළා. අධර්මය අවිනය වහ වහා යටපත් වෙනවා නම් මමත් ඊට ඉතාම කැමතියි. ඒත් අධර්මයට අවිනයට විරුද්ධව ක්‍රියා කළ යුත්තේ ධර්මයෙන් විනයෙන් මිස අධර්මයෙන් අවිනයෙන් නොවෙයි. මෝඩපහේ ලියවිල්ලක් ත්‍රිපිටක සංරක්ෂණ පනත නමින් සම්මත කර ගැනීමට උත්සාහ ගත්තාක් මෙන් සාසන පරපුර සංවිධානය ගොඩනගාගෙන ඉන් ඇතිවන සමාජ පිළිගැනීම සහ සමාජ බලය පසුකලෙක අවභාවිතා කෙරෙනවා දකින්න නම් මම කැමති නැහැ.

ගිහියන් යහපත් අරමුණකට එකමුතු වෙනවා සේම භික්ෂූන් වහන්සේලාත් ධර්මයෙන් විනයෙන් එකමුතු වෙනවා නම් කෙතරම් අගනේ ද? ධර්මවාදී විනයවාදී භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යාංශයේත් සහය උවමනා පරිදි ගෙන ඊට පෙරමුණ ගත යුතුයි.

සබැදිය: