ගලගොඩඅත්තේ ඥානසාරට 2025/01/09 දින සිර දඬුවම් නියම කෙරුණු හේතු සෙවීම

Submitted by Kamal Wickramanayake on

ගලගොඩඅත්තේ ඥානසාර කියන්නේ බෙහෙවින්ම පිරිහුණු චර්යාවන් ඇති භික්ෂුවක්. තමන්ම අන් අයට හිරිහැර කිරීම සේම අන් අයව විවිධ පුද්ගලයින් හා කණ්ඩායම් කෙරෙහි ප්‍රකෝප කරවීම ආදී නොහොබිනා ක්‍රියාවන් ඥානසාර කර තිබෙනවා. කෙසේ වෙතත් දෙදහස් විසි පහ වසරේ ජනවාරි මස නව වන දින වන ඊයේ දිනයේ දී ඥානසාරට ආගමික අපහාසයක් අරඹා මහෙස්ත්‍රාත් අධිකරණයකින් මාස නවයක සිර දඬුවම් නියමව තිබෙනවා. එම සිර දඬුවම් නියම වීම කෙතරම් සුදුසු දැයි මට යම් කුකුසක් ඇති ව තිබෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර දන්නා අයගෙන් ඒ පිළිබඳ මාව දැනුවත් කරන මෙන් ඉල්ලීමටයි මේ ලිපිය ලියන්නේ.

දැනගන්නට ලැබුණු ආකාරයට සිර දඬුවම නියම වී තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තියට අනුවයි. එම වගන්තිය මෙසේයි:

291අ යම් තැනැත්තෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළහොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත් ඔහුට අවුරුද්ද දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින් ම දඬුවම් කළ යුතු ය.

ඉහත දැක්වුණු දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියේ නොමනා බවක් මම දකින්නේ නැහැ. අන් ආගමකට නිග්‍රහ වන ප්‍රකාශයක් කළ පමණින් පුද්ගලයෙකුට ඉහත වගන්තිය යටතේ දඬුවම් කිරීමට හැකියාවක් නැති බවයි මගේ හැඟීම. තව ද එය සුදුසුත් නැහැ. උදාහරණයට මද කලකට පෙර ජෙරොම් ෆනැන්ඩෝ දේවගැතිවරයා විසින් බුදුන් වහන්සේට අපහාස කළා යැයි නීති මගින් ඔහුට දඬුවම් දෙන්නට යෑම නුසුදුසු බවයි මගේ හැඟීම. තමන් දරන මතවාදයට අනුව ආගම්වලට නිග්‍රහ කිරීමට අවකාශ පැවතිය යුතුයි. එසේ නොවුනොත් එය බුදු දහමේ පැවැත්මට ම බරපතල තර්ජනයක් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය ආගම්වලට නිග්‍රහ කිරීමට සැම අතින්ම බාධා ඇති කරන බව මම දකින්නේ නැහැ. හරි ආගම, වැරදි ආගම යන්න වැදගත් නැහැ, හැමෝටම තමන් දරන මතවාදයට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය උල්ලංඝණය නොවන පරිදි අන් ආගම්වලට නිග්‍රහ කිරීමට නිදහස තිබිය යුතුයි.

ගලගොඩඅත්තේ ඥානසාර 2016 වසරේ දි කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී "ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ." යැයි ප්‍රකාශ කිරීම ඥානසාරට සිර දඬුවම් ලැබෙන්න හේතු වූ ක්‍රියාව බවයි මාධ්‍යයෙන් මට දැනගන්නට ලැබුනේ. එම ප්‍රකාශය කර ඇති බව පමණක් දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය යටතේ දඬුවම් ලබන්න ප්‍රමාණවත් සාක්ෂියක් නොවන බවයි මගේ අදහස.

ගලගොඩඅත්තේ ඥානසාරට සිර දඬුවම් ලැබීමට හේතු වූ ක්‍රියාව ගැන වැඩි විස්තර සහ එම අධිකරණ නියෝගය බලන්නට ඇත්නම් එය ද මට ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතනවා. මේ පිළිබඳ වැඩි විස්තර දන්නා මෙම ලිපිය කියවන අය මා වෙත එම විස්තර ලැබීමට සලස්වන මෙන් මම ඉල්ලා සිටිනවා.

සොයා ගැනීමට බලාපොරොත්තු වන විස්තර:

  1. ගලගොඩඅත්තේ ඥානසාරට සිර දඬුවම් ලැබීමට හේතු වූ ක්‍රියාව දැක්වෙන වීඩියෝවක් හෝ හඩ රෙකෝඩනයක් ඇත්නම් එය
  2. අධිකරණ නියෝගයේ පිටපතක්
  3. ගලගොඩඅත්තේ ඥානසාර වෙනුවන් නඩුවට ඉදිරිපත් වූ නීතිඥයින්ගේ නම් සහ ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි විස්තර (දුරකථන අංක)

 

සබැඳිය: