විඳීම යනු ඇලීම, ගැටීම, උපේක්ෂාව යැයි කීම නිවැරදි නැහැ. පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි විඳීම පිළිබඳ අධර්මය පවසා ඇති ආකාරය දැක්වෙන 2014/07/06 දින දිවයින පුවත්පතේ "ඔබේ ඊළඟ ආත්මයේ නිමැවුම්කරු ඔබමය" යන මාතෘකා ඇතිව පළව ඇති ලිපියක කොටසක්:
"ධර්ම සාකච්ඡාවකදී මහත්තයෙක් ප්‍රශ්නයක් විමසුවා රහතන් වහන්සේට විඳීම කියන කාරණය තිබෙනවා නේද කියලා. රහතන් වහන්සේට විඳීම ඇතිවෙනව කියන කාරණය වැරදි කාරණයක්. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙන්නේ නැහැ. විඳීම කියලා කියන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුනට. මේ කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්aණාව ක්‍ෂය කරපු උත්තමයෙක්. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙනවා නම් එයින් අදහස්‌වෙන්නේ ඔහු තෘෂ්ණාව නැතිකරල නැහැ. මෙතනදී සමහරක් පිංවතුන්ලා ඵස්‌සය සහ වේදනාව කියන කාරණා දෙක පටලවා ගන්නවා. රහතන් වහන්සේ තුළ ඵස්‌සය සිද්ධවෙනවා. නමුත් රහතන් වහන්සේ ඵස්‌සය ළඟදීම ඵස්‌සයේ අනිත්‍යතාවය දකිනවා. විඳීමක් සකස්‌වීමක් නැහැ.
එතකොට එම මහත්මයා නැවත ප්‍රශ්න කළා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතලය, දැනෙන්නේ නැතිද කියල. ආහාරයක තිත්ත, පැණිරස දැනෙන්නේ නැතිද කියලා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතල දැනෙනවා. තිත්ත, පැණිරස දැනෙනවා. එය විඳීම නොවෙයි ඵස්‌සයයි. දැනුනා කියන තැන රහතන් වහන්සේ නවතිනවා. එය බොහෝ සියුම් තැනක්. උෂ්ණය, ශීතල දැනෙනවා තිත්ත පැණිරස දැනෙනවා ඒවා කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් ඇතිවෙන්නේ නැහැ. විදීම් ඇතිවෙනවානම් ඉන් අර්ථවත් වෙන්නේ තෘෂ්ණාව ක්‍ෂය කරලා නැති බවයි.
රස දැනෙනවා. නමුත් රසයට බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් උපේක්‍ෂාවන් සකස්‌කර ගන්නේ නැහැ. එම නිසාම රහතන් වහන්සේ තුළින් විඳීම් කියන කාරණය ප්‍රතික්‌ෂේප වෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රහතන් වහන්සේ දැක්‌කාය, ඇසුනාය, දැනුනාය කියන තැන නතරවෙනවාය කියල. පැණිරස දැනෙනවා. ඇලීමක් නැහැ. තිත්ත රස දැනෙනවා. ගැටීමක් නැහැ. පැණිරසත් තිත්ත රසයත් දැනෙනවා උපේක්‍ෂාවක් නැහැ. ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැක්‌ක තැනදී විඳීමට පැවත්මක් නැහැ. "
පහත දැක්වෙන දොස් සහිත කරුණු කියැවෙන වීඩියෝවේ ද කාලය 09:24 ට ආසන්නයේ "විඳීම කියන්නේ මොකක්ද? ඇලීම, ගැටීම, උපේක්ෂාව." යැයි රාජගිරියේ අරියඥාණ හිමි ස්වකීය වරදවා ගැනීම ප්‍රකාශ කරන අයුරු දැක්වෙනවා:
විඳීම යනු කුමක් ද? විඳීම යනු වෙදනාවේ ලක්ෂණයක්. මේ පිළිබඳ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ මූලපණ්ණාසකයේ චූලයමකවග්ගයේ මහාවෙදල්ල සූත්‍රයේ (688 පිටුව) මෙසේ සඳහන්ව තිබෙනවා:
[ පාලි ]
වෙදෙති වෙදෙතීති ඛො ආවුසො, තස්මා වෙදනාති වුච්චති. කිඤ්ච වෙදෙති? සුඛම්පි වෙදෙති, දුක්ඛම්පි වෙදෙති, අදුක්ඛමසුඛම්පි වෙදෙති. වෙදෙති වෙදෙතීති ඛො ආවුසො, තස්මා වෙදනාති වුච්චතීති.
[ සිංහල පරිවර්තනය ]
ඇවැත්නි, ‘විඳුනේය විඳුනේ’ය යන යම් හෙතුයෙක් වේ ද, එහෙයින් ‘වෙදනා’යයි කියනු ලැබේ. කුමක් විඳුනේය යත්: සුව අරමුණ ද විඳුනේය. දුක්අරමුණද විඳුනේය. නොදුක් නොසුව අරමුණද විඳුනේය. ඇවැත්නි, මෙසේ, ‘විඳුනේය විඳුනේ’යයි යම් හෙතුයෙක් වේද, එහෙයින් ‘වෙදනා’ යයි කියනු ලැබේ.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ ඛජ්ජනීයවග්ගයේ ඛජ්ජනීය සූත්‍රයේ ද (150 පිටුව) ඒ පිළිබඳ සඳහන්ව තිබෙනවා. වෙදනාවේ ලක්ෂණ ගැන මිලින්ද රජතුමා ඇසූ ප්‍රශ්නයකට නාගසෙන හිමි දී ඇති පිළිතුරේ ද (සිංහල, පාලි, ඉංග්‍රීසි) ඒ පිළිබඳ සඳහන්ව තිබෙනවා.
විඳීම යනු ඇලීම, ගැටීම, උපේක්ෂාව යැයි කීම නිවැරදි නැහැ. රාජගිරියේ අරියඥාණ හිමි වෙදනාව යනු ඇලීම, ගැටීම, උපේක්ෂාව යැයි වරදවා වටහාගෙන විඳීම පිළිබදව ද එසේම පවසා ඇති බවයි පෙනෙන්නේ. එසේ ගෙන එහිමියන් ඊට අනුරූපව පවසා ඇති දිවයින පුවත්පතේ පළව ඇති ඉහත දක්වන ලද විස්තර කිරීම ද, දක්වන ලද වීඩියෝවේ ඊට අනුරූපව කියැවෙන කරුණු ද දොස් සහිතයි.
අතිරේක කියවීම්: