පහත දැක්වෙන්නේ "රැවුල සහ කණ්නාඩිය" යන මාතෘකා ඇතිව දිවයින පුවත් පතේ පළව ඇති සහ "අතහැරීම 1, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යන නමින් ප්‍රකාශයට පත් කර ඇති පොතකද අඩංගු ලිපියක වාක්‍ය කිහිපයක්. එම සම්පූර්ණ ලිපිය අන්තර්ජාලයේ බොහෝ තැන්වල දැකිය හැකියි. දිවයින පුවත් පතේ වෙබ් අඩවියේ http://www.divaina.com/2011/08/28/feature02.html යන තැනද එම ලිපිය දැකිය හැකියි.
එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක් නොමැත.
...
සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක් විය හැක.
...
විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.
එම ලිපියෙන් රාජගිරියේ ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම සහ අන් අයව බුදුන් සරණ නොයෑමේ සමාදන් කෙරවීම විස්තර කෙරේ.
සැරියුත් තෙරණුවන් විසින් ශික්ෂාපද පනවන්න යැයි බුදුරජානන් වහන්සේගෙන් කෙරෙන ආයාචනය ගැන විස්තර ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ වෙරඤ්ජකණ්ඩයේ සාරිපුත්තස්ස සික්ඛාපඤ්ඤත්තියාචනං යන කොටසේ දැකිය හැකියි. එහිදී විපස්සි, සිඛී, වෙස්සභූ බුදුරජානන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නොපැවතීමට සහ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුරජානන් වහන්සේලාගේ ශාසනය දිගු කල් පැවතීමට හේතු, ප්‍රත්‍ය කවරේ දැයි ගෞතම බුදුරජානන් වහන්සේ විසින් සැරියුත් තෙරණුවන්ගේ විමසීමට පිළිතුරු ලෙස පවසා තිබෙනවා.
විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරජානන් වහන්සේලාගේ ශාසනය බොහෝ කල් නොපැවතීමට හේතු ලෙස විස්තර වශයෙන් දහම් දෙසීමට උත්සාහ නොවීම, නවාංග ශාස්තෘශාසනය ස්වල්ප වීම, ශ්‍රාවකයන්ට ශික්ෂාපද නො පැණවීම සහ පාමොක් නො උදෙසීම යන කාරණාවන් දක්වා තිබෙනවා.
යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මල් ආසනයේ තැන්පත් කර නූලෙන් මනාව නොගෙතූ විට සුළඟ එම මල් විසුරුවනවා, අන් තැනකට යවනවා, තිබූ තැනින් පහ කරනවා. ඒ සුදුසු පරිදි එම මල් නූලෙන් නොගෙතූ නිසා. එම උපමාවේ පරිද්දෙන් විපස්සී, සිඛී, වෙස්සභූ බුදුරජානන් වහන්සේලාගේ ශාසනයන්හි එම බුදුරජානන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් සහ එම බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයින්ගේ පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රාවකයින්ගේ අතවැසි වූ නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ පශ්චිමශ්‍රාවකයින් විසින් එම ශාසනයන් වහාම අතුරුදන් කළ බව සඳහන්.
කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුරජානන් වහන්සේලාගේ ශාසනය දිගු කල් පැවතීමට හේතු ලෙස විස්තර වශයෙන් දහම් දෙසීම, නවාංග ශාස්තෘශාසනය බොහෝ වීම, ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැණවීම සහ පාමොක් උදෙසීම යන කාරණාවන් දක්වා තිබෙනවා.
යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මල් ආසනයේ තැන්පත් කර නූලෙන් මනාව බැඳි විට සුළඟ එම මල් විසුරුවන්නේ නැහැ, අන් තැනකට යවන්නේ නැහැ, තිබූ තැනින් පහව යන්නේ නැහැ. ඒ සුදුසු පරිදි එම මල් නූලෙන් ගෙතූ නිසා. එම උපමාවේ පරිද්දෙන් කකුසඳ, කෝනාගමන, කාශ්‍යප බුදුරජානන් වහන්සේලාගේ ශාසනයන්හි එම බුදුරජානන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් සහ එම බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයින්ගේ පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රාවකයින්ගේ අතවැසි වූ නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ පශ්චිමශ්‍රාවකයින් විසින් එම ශාසනයන් බොහෝ දිගු කල් පැවැත්වූ බව සඳහන්.
එම කරුණු අසා සැරියුත් තෙරණුවන් බුදුරජානන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවන ලෙසත්, පාමොක් උදෙසන ලෙසත් ඉල්ලා තිබෙනවා.
ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද විනය එපා යැයි කීම හෝ විනය නොමැතිව හික්මෙන්න යැයි අන් අයව යොමු කිරීම ගෞතම බුදු සසුන වහාම අතුරුදන් කිරීමට කාරණාවක්.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දසක නිපාතයේ උපාලි වග්ගයේ උපාලි සූත්‍රයේ කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්ෂාපද පනවන ලද ද, පාමොක් උදෙසන ලද ද යැයි උපාලි හිමියන් විසින් විමසීමේදී බුදුරජානන් වහන්සේ විසින් මෙසේ පවසා තිබෙනවා:
උපාලි, කරුණු දසයක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට ශික්ෂාපද පනවන ලද, පාමොක් උදෙසන ලදී. කවර දසයෙක යත්: සඞ්ඝයාගේ මනාබව පිණිස ය, සඞ්ඝයාගේ පහසුබව පිණිස ය, දුසිල් පුද්ගලයනට නිග්‍රහ පිණිස ය, ප්‍රියශීල භික්ෂූන්ගේ පහසුවිහරණය පිණිස ය, දෘෂ්ටධාර්මික ආස්‍රවයන්ගේ සංවරය පිණිස ය, සාම්පරායික ආස්‍රවයන් නැසීම පිණිස ය, අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ය, ප්‍රසන්නයන්ගේ භූයොභාවය පිණිය ය, සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස ය, විනයානුග්‍රහය පිණිස යි.
උපාලි, මෙ කරුණු දසය පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකනයට ශික්ෂාපද පනවන ලද, පාමොක් උදෙසනලදැ යි.
ඉහත කරුණු දහය සැලකීමේදී විනය යනු කෙතරම් අගය කළ යුතු දෙයක් දැයි වටහා ගැනීමට පුළුවන්. හික්මෙන අයටත්, හික්මුනු අයටත් යන දෙපිරිසටම විනය ප්‍රයෝජනවත්.
රාජගිරියේ අරියඥාණ හිමි විසින් "විනයකින් තොරවම ඔබත් හික්‌මේවි." යැයි අන් අයව විනයෙන් බැහැරට යොමු කෙරෙන උපදෙස් දීම බොහෝ දෙනාගේ අහිත පිණිස පවත්නා ලාමක ප්‍රකාශයක්, දුභාෂිතයක් සහ නොමනා ක්‍රියාවක්.
ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද විනය එපා යැයි කීම හෝ විනය නොමැතිව හික්මෙන්න යැයි අන් අයව යොමු කිරීම ගෞතම බුදු සසුන වහාම අතුරුදන් කිරීමට කාරණාවක්.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ සතළොස්වන වග්ගයේ විනය පෙය්‍යාලයේ සූත්‍ර තුන් සියයකින් (300) බුදුරජානන් වහන්සේ විසින් සව්වන්ට විනය කරුණු පැණවීමට හේතු විස්තර කෙරෙනවා. එහි පළමු සූත්‍ර දහය සංක්ෂිප්තව දැක්වෙන්නේ මෙසේයි:
මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි.
කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යි ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පෙශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යි ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන දොෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දොෂයන්ගේ වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන බිය වැළහීම පිණිස හා පරලොව්හි වන බිය වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන අකුශල ධර්‍මයන්ගේ වැළහීම පිණිස හා පරලොව්හි වන අකුශලධර්‍මයන්ගේ වැළහීම පිණිස හා යි. ... ගිහියනට අනුකම්පා පිණිස හා පාපෙච්ඡයන්ගේ පක්‍ෂොපච්ඡෙදය පිණිස හා යි. ... අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා ප්‍රසන්නයන්ගේ භූයොභාවය පිණිස හා යි... සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයානුග්‍රහය පිණිස හා යි. ... මහණෙනි, මේ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදී.
ඉහත පරිද්දෙන් තවත් සූත්‍ර දෙසිය අනුවක් විනය පෙය්‍යාලයේ දැක්වෙනවා. එවිට එතැන දැක්වෙන සූත්‍ර පමණක් ගත්තත් බුදුරජානන් වහන්සේ විසින් එසේ තුන් සියය වාරයක් විනය පිළිබඳව පවසා ඇති කරුණු සැලකීමේදී විනය යනු බැහැර කළ යුතු දෙයක් නොව තමන්ටත් අන් අයටත් ලැබෙන ප්‍රයෝජනය අති මහත් බැවින් වැඩි වැඩියෙන් යොමු විය යුතු, බෙහෙවින්ම අගය කළ යුතු, පුන පුනා ගුණ කිව යුතු, අතිශයින්ම වටිනා දෙයක් බව වටහා ගැනීමට පුළුවන්.
රාජගිරියේ අරියඥාණ හිමි විසින් "විනයකින් තොරවම ඔබත් හික්‌මේවි." යැයි අන් අයව විනයෙන් බැහැරට යොමු කෙරෙන උපදෙස් දීම බොහෝ දෙනාගේ අහිත පිණිස පවත්නා ලාමක ප්‍රකාශයක්, දුභාෂිතයක් සහ නොමනා ක්‍රියාවක්.
ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් පණවන ලද විනය එපා යැයි කීම හෝ විනය නොමැතිව හික්මෙන්න යැයි අන් අයව යොමු කිරීම ගෞතම බුදු සසුන වහාම අතුරුදන් කිරීමට කාරණාවක්.
http://www.trekmentor.com/si/content/book/594 යන තැන දැක්වෙන ලිපියෙන්ද රාජගිරියේ අරියඥාණ හිමි විසින් අන් අයව විනයෙන් බැහැරට යොමු කෙරෙන ලෙස කරුණු දැක්වීම ගැන විස්තර සඳහන් වෙනවා.