"සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" යැයි පැවසීම ධර්මයට ගැළපේද?

Submitted by Kamal Wickramanayake on

මෙම ලිපිය ලියන ලද්දේ යම් භික්ෂූන් වහන්සේ නමක් විසින් "සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" ලෙස පැවසීම පිළිබඳව යම් මිතුරෙකු මගෙන් ඇසූ පැණයකට මා විසින් දෙන ලද පිළිතුරු ඇසුරෙන්.

ලෝකයේ මිනිසුන් විසින් ලෝකාර්ථයන් හඳුනාගැනීම පිණිස සම්මත කර ගත් වචන ධර්ම දේශකයින් විසින් පරමාර්ථයන් ගැන කීමේදී භාවිතා කෙරෙනවා. එසේ නොකර දහම් දේශනා කරන්න බැහැ. යම් යම් අර්ථයන් ගෙන හැර දැක්වීමේදී ඒ ඒ අර්ථය ගෙන හැර දැක්වීමට සුදුසු වචන භාවිතා නොකරොත් දහම් දෙසීම ව්‍යාකූල බැවින් අසන අයට නිවැරදි අර්ථයන් වටහා වටහා ගැනීම අපහසු වෙනවා. සමහරක් විටෙක නිවැරදි අර්ථයන් ලෙස වැරදි අර්ථයන් හිතා ගැනීමට එය හේතු වෙනවා. දහම් විමසීමේදීත් ලෝකාර්ථයන් සහිත වචන භාවිතා කර පරමාර්ථයන් ගැන විස්තර කෙරෙන ආකාරය ගැන වැටහීමක් තිබීම ප්‍රයෝජනවත්. ඒ ගැන වැටහීමක් නොමැතිව දහම් විමසුවොත් අසන ලද යම් දේශනාවක් යහපත් වුවත් එම විමසීම විමසන්නා තුළ පවසන ලද නිවැරදි අර්ථයන්ට වෙනස් අර්ථයන් ඇති කිරීමට හේතු විය හැකියි.

දහම් දෙසීමේදී භාවිතා කෙරෙන යම් යම් වාක්‍යය වලින් ක්‍රියාවන් කරන පුද්ගලයෙකු ඇඟවුනොත් එපමණින් එම පුද්ගලයා පරමාර්ථ ලෙසින් ඇතය, එම පුද්ගලයා විසින් එම ක්‍රියාව කරන්නේය යැයි හිතුවොත් එම වාක්‍යය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා. උදාහරණයකට "දහම් අවබෝධ නො කිරීමෙන් සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්නෙහි "සත්ත්වයෝ සසර නො ඉක්මවත්" යන්න එබඳුයි. පද පිළිවෙල මඳක් වෙනස් කළොත් එහිම අඩංගු "සත්ත්වයෝ දහම් අවබෝධ නො කිරීමෙන්" යන කොටසත් එබඳුයි. එහිදී "සත්ත්වයෝ" යැයි යෙදී තිබෙන නිසා එබඳු වාක්‍යය වලින් සත්ත්වයින් ඇතය යැයි පරමාර්ථ ලෙස පැවසේ, එබැවින් එබඳු වාක්‍යය වලින් අධර්මයක් පැවසේ යැයි සිතීම නිවැරදි නැහැ.

ක්‍රියාවන් කරණ පුද්ගලයෙකු නොලැබේ යන අර්ථය ඉස්මතු කර දැක්වන පරිදි වාක්‍යය භාවිතා වන අවස්ථාවන් හිදී අසන කෙනා එම වාක්‍යය වල භාෂා උපක්‍රමයක් ලෙස දැක්වෙන ක්‍රියාව කරන කර්තෘ ගැන විමසා බලා පරමාර්ථ ලෙස එබඳු කර්තෘ කෙනෙක් නොලැබේ යන්න වටහා ගන්න උවමනයි. උදාහරණයකට "දැනුත් මෙතැන සත්ත්වයෙක් නොලබන එකේ මම මරණින් මතු ඉන්නවා යැ?" යන වාක්‍යය දැක්විය හැකියි. යම් අයෙක් එසේ කියයි නම් එපමණකින්ම එම පුද්ගලයා සත්ත්ව පුද්ගල දෘෂ්ටියෙන් නොමිදුණු කෙනෙක් යැයි කීම හෝ එම වාක්‍යය ධර්මයට නොගැළපේ යැයි කීම සුදුසු නැහැ. එම වාක්‍යයේ "මම" යන වචනය භාවිතා වී තිබුනත් එම වාක්‍යයෙන් පරමාර්ථ ලෙස පුද්ගලයෙක් නොලැබේ යන අර්ථය දැක්වන බවත් "මම" යන වචනය හුදෙක් භාෂා උපක්‍රමයක් ලෙස පමණක් භාවිතා වී ඇති බවත් වටහා ගැනීම සුදුසුයි.

දෙසන අයෙක් ලෝකාර්ථ සහිත සම්මත භාෂාවේ වචන පරමාර්ථයන් දැක්වීම පිණිස නොමනා පරිදි භාවිතා කළොත් එම දහම් දෙසීම ව්‍යාකූල දහම් දෙසීමක් වෙන්න පුළුවන්. උදාහරණයකට යම් දේශකයෙක් "පරමාර්ථ ලෙස සත්ත්වයෙක් නොලැබේ, ඒ නිසා මම කර්තෘ රහිත වාක්‍යය පමණක්ම භාවිතා කර දහම් දෙසමි." යැයි හිතා "දහම් අවබෝධ නො කිරීමෙන් සසර නො ඉක්මවත්" යැයි කීවොත් අසන අය එම පැවසීමෙන් කාට අදාළ දෙයක් කීවේ දැයි නො පැහැදිලි බැවින් නොමනාව පවසන ලද දේ වටහා ගැනීමේ ව්‍යාකූලත්වයකට පත් වෙනවා.

අසන අය ලෝකාර්ථ සහිත සම්මත භාෂාවේ වචන පරමාර්ථයන් දැක්වීම පිණිස භාවිතා කරන ආකාරය ගැන නොසලකා ඇසූ දේ විමසුවොත් දෙසන කෙනා මනාව දහම් දෙසුවත් එම විමසීම ව්‍යාකූල අර්ථ ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. උදාහරණයකට බුදු දහම මනාව දෙසන කෙනෙක් දෙසුවත් "ආත්මයක් නෑ ලු, කර්ම කරන්නෙක් නෑ ලු, කර්ම නිසා විපාක ඇති ලු, කරන්නෙක් නැත් නම් කවරෙකුට විපාක දෙන්නද? එතැනින්ම කර්ම විපාක කතාව මෝඩ කතාවකි. ඒ කතාව ගෙතූ බුදු හාමුදුරුවෝ මුළා වූ පුද්ගලයෙකි. බුද්ධ ශ්‍රාවකයෝ එබඳුම මෝඩයෝය." යැයි යම් අයෙක් වරදවා හිතන්න පුළුවන්.

අන් අයෙකුගේ දහම් දෙසීම විචාරයේදී උවත් ලෝකාර්ථ සහිත සම්මත භාෂාවේ වචන පරමාර්ථයන් දැක්වීම පිණිස භාවිතා කරන ආකාරය ගැන බෙහෙවින්ම සලකා තමයි විචාරය කරන්න ඕනෑ. අන් අයෙක් සුදුසු තැන සුදුසු අයුරින් ඒ ඒ කරුණු පවසා තිබෙනවාද යන්න නිශ්චය කිරීම බෙහෙවින්ම දුෂ්කරයි.

දහම් දෙසීමේදී "සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම සුදුසු නැහැ.

යම් ආකාරයකට විමසුවොත් "අතහරිනවා" සහ "අතහැරෙනවා" යන වචන දෙකේ වෙනස වන්නේ "අතහරිනවා" යන්නෙන් ක්‍රියාවක් කරනවා යන්න දැක්වීම සහ "අතහැරෙනවා" යන්නෙන් ක්‍රියාවක් කෙරෙනවා යන්න දැක්වීම. කෑවොත් කැවෙනවා, බීවොත් පෙවෙනවා, බැලුවොත් පෙනෙනවා, ඇසුවොත් ඇසෙනවා යැයි කියනා ආකාරයටම අතහැරියොත් අතහැරෙනවා යැයි කියන්න පුළුවන්. "සියල්ල අතහරින්න" යැයි කීවාම කවර දෙයක් කළ යුතුද යන්න ඇඟවෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවාම කවර දෙයක් කෙරෙන්න උවමනාද යන්න ඇඟවෙනවා. "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමේදී සිදුවන ක්‍රියාව සිදුවිය යුතුයි යන අර්ථයෙන් අතහරින විට අතහැරීම සිදුවිය යුතුයි යන්න හෝ ක්‍රියාව සිදුව අවසන් විය යුතුයි යන අර්ථයෙන් අතහැරීම සිදුව අවසන් විය යුතුයි යන්න අඟවන්න පුළුවන්. එම අර්ථයන්ට අනුව "සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" ලෙස කීම සුදුසු නැහැ. එහිදී "සියල්ල අතහරින්න" යැයි කීමත්, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමත් ධර්මයට ගැළපෙනවා.

තවත් ආකාරයකට විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීමේදී ක්‍රියාවක් කළ යුතුය යන්න පැවසෙනවා, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමේදී එය ඉබේ හෝ බාහිර බලපෑමක් නිසා සිදුවන දෙයක් යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. යම් අයෙක් තමන්ගේම උත්සාහයෙන්, වීර්යයයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා තෘෂ්ණාව ක්ෂය කළ යුතුයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉබේ වැඩෙන්නේත් නැහැ, බාහිර බලපෑමකින් වැඩෙන්නෙත් නැහැ. වැඩීම පිණිස අන් අයගේ උපකාර හේතු වෙන්න පුළුවන්, නමුත් තමන්ම ඒ උපකාර භාවිතා කර වැඩීම සලසා ගන්න ඕනෑ. ඒ නිසා ඒ ආකාරයට විමසීමේදී "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම ධර්මයට ගැළපෙන්නේ නැහැ, නමුත් "සියල්ල අතහරින්න" යැයි කීම ධර්මයට ගැළපෙනවා. එම අර්ථයන්ට අනුව ගත්තත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම සුදුසු නැහැ.

ක්‍රියාව කරන්නා ගැන හිතා තවත් ආකාරයකට විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවාම අතහරින කෙනෙක් පැනවෙනවා නම්, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමේදීත් "කාටද/කාගෙන්ද අතහැරෙන්න ඕනෑ?" යැයි පුද්ගලයෙක් පැනවෙනවා යැයි යම් අයෙක් හිතන්න පුළුවන්. එසේ අර්ථ විමසුවොත් "සියල්ල අතහරින්න" යැයි කීවත් පරමාර්ථයට ගැළපෙන්නේ නැහැ, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීවත් පරමාර්ථයට ගැළපෙන්නේ නැහැ. එසේ සිතීමෙන් දැක්වෙන්නේ නොමනා ලෙස දහම් විමසීම නිසා වචන සහ අර්ථ පටලවා ගන්නා ආකාරය. එය මෙම ලිපියේ මුලින් ලියූ "දහම් දෙසීමේදී භාවිතා කෙරෙන යම් යම් වාක්‍යය වලින් ක්‍රියාවන් කරන පුද්ගලයෙකු ඇඟවුනොත් එපමණින් එම පුද්ගලයා පරමාර්ථ ලෙසින් ඇතය, එම පුද්ගලයා විසින් එම ක්‍රියාව කරන්නේය යැයි හිතුවොත් එම වාක්‍යය වලින් කියැවෙන දහම් කරුණු නිවැරදිව වටහා ගන්න බැහැ, එසේ හිතන කෙනා විමසිය යුතු දේ පැවතිය දී අන්‍ය දෙයක් ගැනම හිතලා දහම් පටලවා ගන්නවා." යැයි කීමට අනුරූපයි. "සියල්ල අතහරින්න" යැයි කීමත් "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමත් බුදු දහමේ කියැවෙන අර්ථයන් මනාව ගෙන හැර දැක්වීමට භාවිතා කළ හැකියි. ඒ එක් එක් ආකාරයේදී පරමාර්ථ ලෙස පුද්ගලයෙකු පැනවෙනවා යැයි හිතුවොත් දහම් පද වල අර්ථ වැරදෙනවා. ඒ ආකාරයට විමසුවත් "සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම සුදුසු නැහැ.

අන් කෙනෙක් දහම් දෙසීමේදී "සියල්ල අතහරින්න" යැයි කියනවා නම් එම වචන දෙක පමණක් සලකා එසේ දහම් දෙසීම වැරදි යැයි කීම සුදුසු නැහැ. එම දේශකයා අන් තවත් කරුණුත් සමඟ පුද්ගලයෙකු පැනවෙන අර්ථය ඉස්මතු වන පරිදි වචන භාවිතා කරනවා දැයි දැඩිව විමසා බලා එවන් දෝෂයක් ඇත්නම් එය සකාරණව දැක්විය හැකියි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ දෙවදහ වග්ගයේ ඇති පලාස සූත්‍රයේ සහ ඊට පසු සූත්‍රය වන දුතිය පලාස සූත්‍රයේ බුදුරජානන් වහන්සේ පහත දැක්වෙන පරිදි වචන භාවිතා කර ඇති බව දැකිය හැකියි:

"යං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ."

එනම්,

"මහණෙනි යමක් තොපගේ නො වේ නම් එය පහකරවු."

එසේ පහකරන්න යැයි කීම වැරදිය, එසේ කීවොත් පහකරනවා යන ක්‍රියාව කරන පුද්ගලයෙක් පරමාර්ථ ලෙස පැනවේ යැයි කීම සුදුසු නැහැ. සම්මත භාෂාව භාවිතා කර පරමාර්ථයන්ට අනුකූල දහම් දෙසීමේදී ක්‍රියාවන් කරන පුද්ගලයෙක් පරමාර්ථයෙන් නොමැති උවත් භාෂා උපක්‍රමයක් ලෙස ක්‍රියාව කරන කර්තෘ කෙනෙක් දැක්වෙන වාක්‍යය භාවිතා කරන්න සිදුවෙනවා.

අතිරේක කරුණක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ සබ්බ වග්ගයේ සබ්බ සූත්‍රයේ දැක්වෙන "සියල්ල" යන්නෙහි අර්ථයට අනුව පලාස සූත්‍රයේ සහ දුතිය පලාස සූත්‍රයේ සඳහන් කරුණු වලින් එක්ව කියවෙන්නේ "සියල්ල පහකරවු" යන අර්ථය.

භාෂා උපක්‍රමයක් ලෙස ක්‍රියාව කරන කර්තෘ කෙනෙක් ඇඟවෙන්නේ යැයි කිව හැකි නමුත් පරමාර්ථ ලෙස ක්‍රියාව කරන පුද්ගලයෙකු නොපැනවෙන ලෙස අරුත් විමසිය යුතු වාක්‍යය වලට දිය හැකි උදාහරණ මෙපමණයි කියලා කියන්න බැරි තරම්. ඒ තරමට එවන් වාක්‍යය තිබෙනවා. මෙපමණයි කියලා කියන්න බැරි තරම් ප්‍රමාණයක් එවන් වාක්‍යය ඇති බව වටහා ගැනීමට උදාහරණයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහාවග්ගයේ සච්ච සංයුත්තයේ ධම්‌මචක්‌කප්‌පවත්‌තන වග්ගයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආරම්භයේ ඇති පහත දැක්වෙන වාක්‍යය දැක්විය හැකියි:

"එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක."

එම වාක්‍යය අරභයා එසේ පැවසුවහොත් භාග්‍යවතුන් වහන්සේ නම් පුද්ගලයෙකු පරමාර්ථයෙන් පැනවේ, ඒ නිසා එම වාක්‍යය බුදු දහමට නොගැළපේ යැයි කියන්න යෑ? දහම් දෙසීමේදී එම වාක්‍ය වරදක් නැතිව භාවිතා කළ හැකියි. එහිදීත් භාග්‍යවතුන් වහන්සේ නම් පුද්ගලයෙකු පරමාර්ථයෙන් පැනවෙන්නේ නැහැ.

දහම් අරුත් ගෙන හැර දැක්වීමේදී ගෙන හැර දක්වන අර්ථයන්ට නොගැළපෙන වචන භාවිතා කිරීම නිසා මෙම ලිපිය ලියන මටත් වැරදීම් සිදුවූ අවස්ථාවන් තිබෙනවා. එසේ වැරදුණු බව පසුව හෝ දුටු අවස්ථාවන් හිදී වැරදුණු ආකාරයන් ගැන විමසා බැලීම මේ මේ ආකාරයන්ගෙන් අසවල් කරුණ පැවසිය යුතුය, මේ මේ ආකාරයන්ගෙන් එය නොපැවසිය යුතුය ආදී ලෙස මනා සේ දහම් දෙසිය යුතු ආකාරය ගැන අවබෝධය ඇති කරනවා. එසේ සියුම්ව විමසා බැලීමට පෙළඹීම බුද්ධ දේශනාවේ සියුම් අර්ථයන් නිවැරදිව ග්‍රහනය කර ගැනීමට උපකාර වෙනවා.

ඉහත ආකාර කිහිපයකින්ම විස්තර කළ පරිදි "සියල්ල අතහරින්න කීවොත් වැරදියි, අතහැරෙන්නයි ඕනෑ" යැයි කීම සුදුසු නැහැ. "සියල්ල අතහරින්න" යැයි කීමත්, "සියල්ල අතහැරෙන්නයි ඕනෑ" යැයි කීමත් බුදු දහමේ කියැවෙන අර්ථයන් මනාව ගෙන හැර දැක්වීමට භාවිතා කළ හැකියි.

ලෝකයේ මිනිසුන් විසින් ලෝකාර්ථයන් හඳුනාගැනීම පිණිස සම්මත කර ගත් වචන ධර්ම දේශකයින් විසින් පරමාර්ථයන් ගැන කීමේදී භාවිතා කෙරෙනවා. එසේ නොකර දහම් දේශනා කරන්න බැහැ. දහම් දෙසන අය සහ දහම් අසන අය ලෝකාර්ථ සහිත සම්මත භාෂාවේ වචන බුද්ධ භාෂිතයේ දැක්වෙන පරමාර්ථයන් ගෙන හැර දැක්වීම පිණිස කෙසේ භාවිතා කරන්නේ දැයි වටහා ගැනීම මනාව දහම් දෙසීමටත් , අසන එම දහම් වැරදි අර්ථයන්ගෙන් වටහා ගන්නේ නැතිව නිවැරදි අර්ථයන්ගෙන් වටහා ගැනීමටත් හේතු වෙනවා.