ඉහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි වෙදනාව පිළිබඳ නිවැරදි නොවන විස්තර කිරීමක් කරන ආකාරය සඳහන්ව ඇති වීඩියෝවක්. එහි මෙසේ පැවසෙනවා:
[ කාලය 01:11 ]
එතකොට වේදනාව කියලා කියන්නේ මොකක්ද? ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්. තේරුණාද?
බුදුරජානන් වහන්සේ වෙදනාව ස්වරූප වශයෙන් බෙදා දක්වා ඇති ආකාර කිහිපයක් ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්තනිකායේ සළායතනවග්ගයේ වෙදනා සංයුත්තයේ අට්ඨසතපරියායවග්ගයේ අට්ඨසතපරියාය සූත්රයේ සඳහන්ව තිබෙනවා. එම සූත්රයේ ද සඳහන්ව ඇති පරිදි සුඛා වෙදනා, දුක්ඛා වෙදනා සහ අදුක්ඛමසුඛා වෙදනා ලෙස වෙදනාව ස්වරූප තුනකට බෙදා දැක්වෙනවා. සිංහල භාෂාවෙන් එම වෙදනාවන් සුව වෙදනා, දුක් වෙදනා සහ නොදුක්නොසුව වෙදනා ලෙස හැඳින්වෙනවා. නොදුක්නොසුව වෙදනාව මැදහත් වෙදනාව, උපේක්ෂා වෙදනාව ලෙස ද ත්රිපිටකයේ සිංහල පරිවර්තනයේ යම් යම් තැන්වල දැක්වෙනවා.
අරියඥාණ හිමි පවසා ඇති පරිදි වෙදනාව යනු ඇලීම්, ගැටීම් හා උපේක්ෂාවන් යැයි කීම නිවැරදි කීමක් නොවෙයි. එහිදී කියැවී ඇති උපේක්ෂාවන් යන්නෙන් නොදුක්නොසුව වෙදනාව දැක්වේ යැයි සිතිය හැකි නමුත් ඇලීම් හා ගැටීම්වලින් වෙදනාවේ ප්රභේදයන් දැක්වෙන්නේ නැහැ. සුව වේදනාව රාගයට හේතු විය හැකියි, දුක් වෙදනාව ද්වේෂයට හේතු විය හැකියි. එබැවින් සුව වෙදනාව සහ ඇලීම අතර ඇති සම්බන්ධතාවයක් සහ දුක් වෙදනාව සහ ගැටීම අතර ඇති සම්බන්ධතාවයක් දකින්න පුළුවන්. එසේ උවත් සුව වෙදනාව යනු ඇලීම නොවේ, දුක් වෙදනාව යනු ගැටීම නොවේ.
සෑම සුව වෙදනාවක්ම රාගයට හේතු වන්නේත් නැහැ, සෑම දුක් වෙදනාවක්ම ද්වේෂයට හේතු වන්නේත් නැහැ. සුව වෙදනාව රාගය ප්රහානය කෙරුමටත්, දුක් වෙදනාව ද්වේෂය ප්රහානය කෙරුමටත්, නොදුක්නොසුව වෙදනාව අවිද්යාව ප්රහානය කෙරුමටත් යෙදේ යැයි කිව හැකි වෙදනාවන් ද පවතිනවා. මෙම කරුණු පිළිබඳ වැඩි විස්තර ත්රිපිටකයේ සූත්ර පිටකයේ මජ්ඣිමනිකායේ මූලපණ්ණාසකයේ චූළයමකවග්ගයේ චූළවෙදල්ල සූත්රයේ (පිටු අංක 710 - 715) දකින්න පුළුවන්.
වෙදනාව යනු ඇලීම්, ගැටීම් හා උපේක්ෂාවන් යැයි වරදවා ගැනීම නිසා නොමනා අර්ථ ඇති වන පරිදි අරියඥාණ හිමි විසින් දේශිත වෙනත් විස්තර කිරීම් ද පවතිනවා.
අතිරේක කියවීම්: